Sunday, October 3, 2010

මළගිය ඇත්තෝත් ගුරුකම් කරති

පැරණි රොඞී පිරිමින්ගේ නම්වල අගට යෙදෙන විල්ලියා යන්නෙහි අරුත ”දුන්න” යන අදහස දෙන වීල්ලූ යන ද්‍රවිඩ වදනින් බිඳී ආවක් බවට ප‍්‍රකට මතයක් පවතී. එය දුර අතීතයේ ඔවුන්ගේ දඩයම්කාර වෘත්තිය දක්වන්නක් බව ද පැවසේ. මානව විද්‍යාඥ එම්.ඞී. රාඝවන් පවසන පරිදි විසිවන සියවසේ මැද භාගය වන විට මෙම පරපුර සාම්ප‍්‍රදායක විල්ලියා නාමය ඉවත් කොට තම දරුවන්ට සිංහල බෞද්ධ නම් යෙදීම අරඹා තිබේ. එහෙත් ඊට අඩසිය වසකට පසුව කූරගන්දෙණියේ ගුරුකම් පිළිබඳ දැන්වීම් වලින් යළි පැරණි විල්ලියන් මතු වී ඇත්තේ තම මන්ත‍්‍ර ගුරුකම් මුල්කොට ගත් සිය පැරණි ගෝත‍්‍ර අභිමානය ලොවට කියා පෑමට බව නිසැකය.

පිරිමියාගේ නම් අගට විල්ලියා යන්න යෙදෙන සේම එම ගෝත‍්‍රික කතුන්ගේ නමේ අගට වල්ලි යනුවෙන් භාවිත වී ඇත. ඒ තම පරපුරේ ආදි කර්තෘවරිය වශයෙන් ඔවුන් සළකන පරාක‍්‍රමබාහු නමැති රජ කෙනකුගේ රත්නවල්ලී නම් දියණිය සිහිපත් වීම පිණිස ය. රාඝවන් කී කාලයේදීම එම ගෝත‍්‍රයේ කතුන්ගේ නම්වලින් හැලී ගිය එම වල්ලි කොටස ඔවුන්ගේ නම්වල ඇමිණී මෑත සිට යළි ජන කරළියට ඇත්තේ ද ඔවුන්ගේ කූට ව්‍යාපාර ප‍්‍රවර්ධනය සඳහා බවට සැක නැත.

කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් පිළිබඳ පුවත්පත් දැන්වීම් වල නම් සහ ඡායාරූප පළවන ඇදුරන්ගෙන් බොහොමයක් මීට කලකට ඉහත මිය පරලොව ගිය ඇත්තෝ වෙති. එම නම් සහ ඡායාරූප යොදා ගනිමින් දැනට මන්ත‍්‍ර ගුරුකම් කරනුයේ ඔවුන්ගේ දරුවන් සහ ඇතැම් විට මුණුපුරන් විසිනි. එසේ මළවුන්ගේ නම් යොදමින් ව්‍යාජ පුවත්පත් දැන්වීම් පළ කිරීම ජනතාව රැවටීමක් සහ නොමඟ යැවීමක් විය නොහැකිදැයි එවන් දැන්වීමක් පළ කළ ඇදුරෙකුගෙන් මම සෘජුවම ඇසීමි.

”මහත්තයා කොළඹ ඇම්.ඞී. ගුණසේන සාප්පුවට පොතක් ගන්න ගිහින් ඇම්.ඞී. ගුණසේන මහත්තයා ජීවතුන් අතර නැහැ කියලා නිකම් ආපහු හැරිලා එනවද? නෑනේ මේවත් අන්න ඒ වගේ තමයි. දැන් අපේ පරණ පරම්පරාව නැති වුණාට ඒ ඇත්තන්ගේ පරණ මන්තර ගුරුකම් වගේම නම් එහෙමත් දිගටම රැක ගන්න එකත් අපේ යුතුකමක්නේ. මහත්තයාට එච්චරවත් දෙයක් තේරෙන්නේ නැද්ද?" එවර ඒ ඇදුරා ඇසූවේ මට කටඋත්තරද නැති කරවමිනි.

අනාචාර පින්කම්

අතීතයේ සිඟමන් යැදීම පිණිස ගෙන් ගෙට ගිය රොඞී හෙවත් ගාඩි ගෝත‍්‍රයේ මිනිසුන්ගේ බාහුවල සහ ගෙලෙහි එල්ලෙන සුරයක් දෙකක් බොහෝ විට දැකිය හැකි විය. තමන් සතු මහා බලගතු පාරම්පරික මන්ත‍්‍ර ඔවුන් එසේ සුර තුළ බහා පැළඳ සිටින බව පොදු ජනතාව විශ්වාස කළහ. වංශවත් කුලවලින් සිඟමනට බසින යාචකයන් කෙරෙහි ජනතාව තුළ පවත්නා අප‍්‍රසාදය හා නොතැකීම වෙනුවට තමන් කෙරෙහි විශේෂ පොදු ජන අවධානයක් සේම කිසියම් බිය සැක මුසු හැඟීමක් ද ජනිත කරවීමේ යථාර්තවාදී බලයක් මෙම යන්ත‍්‍ර සහිත සුරවල තිබූ බව නිසැක ය.

කූරගන්දෙණියේ මන්ත‍්‍රාචාර්යවරුන් සහ වරියන් එක හඬින් කියා සිටින දෙයක් තිබේ. එනම් පූජා භාණ්ඩ වලට මිස යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සඳහා තමන් මුදල් අය නොකරන බවකි. එම ගුරුකම් සඳහා කස්තුරි, ගෝරෝචන, කුංකුමප්පු ආදී දුලබ ඖෂධ වර්ග අවශ්‍ය නිසා පූජා භාණ්ඩවලට රුපියල් දහස් ගණනක් වැය වන බව ඔවුහු කියා සිටිති. එමෙන්ම මෙලෙස නොමිලේ මන්ත‍්‍ර ගුරුකම් කර දීමට හේතුව කුමක්දැයි මම මෙහිදී හමු වූ ඇදුරන්ගෙන් විමසා සිටියෙමි. එවිට ඔවුන්ගෙන් බොහෝ දෙනකු පවසා සිටියේ එම සේවාව ඉටු කිරීම තම පාරම්පරික උරුමයක් බවකි. එහෙත් මොවුන් සතු යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ පොදු ජනයා තුළ තිබූ බියජනක විශ්වාසයක් පිළිබඳව විනා ඔවුන් සතුව තිබූ එබඳු පාරම්පරික උරුමයක් පිළිබඳව තහවුරු කෙරෙන කිසිදු විධිමත් මූලාශ‍්‍රයක් මට මෙතෙක් හමු වී නැත. එම පාරම්පරික උරුමයේ කතා හැරුණු විට එහි සිටි තවත් බොහෝ දෙනකු කීයේ තම පරපුරේ ආදිතමයන්ට පින් පිණිස ඔවුන්ගෙන් තමන් වෙත උරුම වූ මෙම යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් නොමිලේ කර දෙන බවකි.

”මම ලංගම බස් කොන්දොස්තර කෙනෙක්. වැඩ කරන්නේ ජා-ඇල ඩිපෝවේ” එලෙස පින් පිණිස නොමිලේ මන්ත‍්‍ර ගුරුකම් කර දෙන බවක් කී කූරගන්දෙණියේ ඇදුරකුට මම කීවෙමි.

”මම කසාද බැඳලා දුවෙකුත් ඉන්නවා. දුවත් පසුගිය අවුරුද්දේ කසාද බැන්දා. මගේ නෝනත් නිතරම ඉන්නේ ලෙඩ ගාණේ." මා එසේ පවසන විට ඇදුරා මහත් උනන්දුවෙන් යුතුව ඊට කන්දෙනු පෙනිණ.


”මම වැඩ කරන බස් එකේ නිතරම යන එන මැද වයසේ ටීචර් කෙනෙක් ඉන්නවා. එයත් කසාද බැඳලා ලොකු ළමයිත් ඉන්නවා. ඒ ටීචර් මාත් එක්ක බොහොම හොඳට කතාබහ කරනවා. ඒත් මෑතක ඉඳලා ඒ ටීචර් ගැන මගේ හිතේ මහ අමුතුම හැඟීමක් ඇතිවෙනවා. මට හිතෙනවා කොහොම හරි ඒ ටීචර් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න හැබැයි කසාද බඳින්න නම් නොවෙයි. ඒත් මම කොහොමද එක පාරටම එයාට එහෙම යෝජනාවක් ගේන්නේ. ඒ ගැන හිතනකොටත් මගේ හිතට අමුතුම බයක් දැනෙනවා. දැන් මේක මගේ හිතට මහ වදයක්. ඒ හින්දා තමයි මම කල්පනා කළේ මෙහෙ ඇවිත් හුලවාලි ගුරුකමකින් හරි.....”

”අපිට  ඕවා මහ ලොකු වැඩ නෙමෙයි අපේ මහත්තයෝ. අපි ළඟ තියෙන මහ බලගතු නීච කුල බන්ධනයෙන් වරු තුනක් ඇතුළත ප‍්‍රතිඵල පෙන්නන්න මට පුළුවන්” ඔහු කීයේ මහත් අභිමානයෙනි.

”හැබැයි මහත්තයාගේ නමයි ඔය කියන ගුරුවරියගේ නමයි මට හරියටම කියන්න  ඕනේ. ඒ නම් දෙකට තමයි මම මේ බන්ධනය කරන්නේ. පූජා භාණ්ඩවලට රුපියල් පන්දාහක් දුන්නම ඇති”


ඇදුරාගේ එම බන්ධනය පිළිබඳ ප‍්‍රකාශය මුසාවක් යැයි එක හෙළාම කීමේ අයිතියක් හෝ හැකියාවක් මා සතුව නැත. අනාචාරයේ යෙදීමට සැරසෙන බස් කොන්ෙදාස්තර කෙනෙකු ඊට යොමු කොට ලබා ගන්නා ”පින” ඔහුට කෙසේ නම් ඵල දේද? ඒ අනුමෝදන් කර ගන්නා ඔහුගේ මළගිය ඥතීන්ට කවර නම් ශෝචනීය ඉරණමක් අත්වේද? යන්න මට මහත් ගැටලූවකි.

කරදරකරුවන්ගෙන් ගැලවෙන ගුරුකම්

කූරගන්දෙනියේ මන්තර ගුරුකම්කරුවන් ගණුදෙනු කරුවන් හා එක්වන ප‍්‍රධානතම මාර්ගය පුවත්පත් දැන්විම් බව ඔබ දනියි. ඒ දැන්වීම්වල පළ කෙරෙන දුරකථන අංක ඔස්සේ ලැබෙන දුරකථන ඇමතුම් එකක් වත් අපතේ නොහැරීමට ඔවුහු වග බලා ගනිති. ඒ එම පුවත්පත් දැන්වීම් සඳහා සතිපතා රුපියල් දස දහස් ගණන් වියදම් වන නිසා ය. එකම පවුලේ සාමාජිකයන් විසින් එකිනෙක දුරකතන අංක යොදා ගනිමින් විවිධාකාර පුවත්පත් දැන්වීම් පළ කිරීම ද ඔවුන් වෙතින් සිදුවන දෙයකි.

මෙම මන්ත‍්‍රකරුවන් හා මන්ත‍්‍රකාරියන් අතර ශී‍්‍රලංකාවේ භාවිතා වන සෑම ජාලයකටම අයත් ජංගම දුරකතන සම්බන්ධතා තිබේ. එහෙත් පුවත්පත් දැන්වීම් වල පළ කරනුයේ එවායින් තෝරාගත් කිහිපයක අංක පමණි.

පුවත්පත් දැන්වීමක පළවන එවන් දුරකථන අංකයක් ඔස්සේ එම මන්ත‍්‍රකරුවකු, මන්ත‍්‍රකාරියක අමතන ගණුදෙනුකරුවකුට එම දුරකථනය හැඬවීමේ නාදය (Ring in Tone) ලෙස බොහෝ විට ඇසෙන්නේ බොදු බැති ගීයකි. නැතහොත් ආශිර්වාදාත්මක ශ්ලෝකයකි. එසේම නැතිනම් සුචරිතය, සදාචාරය, පිළිබඳව පැවසෙන කවි හෝ විරිදු පෙළකි. එය ද එම ඇමතුම දෙන්නා පහදවා ගැනීමට කූරගන්දෙණියේ ඇදුරන් යොදන උප්පරවැට්ටියක් විය හැක.

ඉන් පසුව එම මන්ත‍්‍රකරු, මන්ත‍්‍රකාරිය හෝ එම පවුලේ සාමාජිකයකු එම ඇමතුමට පිළිතුරු දෙන විට ඇමතුම දෙන්නාට ඇමතුමින් පසුබිමින් යම් විශේෂිත හඬක් ඇසෙන්නට ද බැරි නැත. බොහෝ විට ඒ මන්ත‍්‍ර ජප කරන හඬකි. එසේත් නැතිනම් දේව කන්නලව්වකි.

”ඔව් දරුවා කියන්න කාරණේ ” ඔබ කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් කරන ස්ථානයකට දුරකථන ඇමතුමක් දුනහොත් ඇතැම් විට මන්ත‍්‍රකාරියගේ මිමිනුම් හඬක් ඇසෙන්නේ ඉහත කී පසුබිම් හඬ අතරින් විය හැක.

”මෑණියෝ මොකක් හරි වැඩක් නම් මම පස්සේ කතා කරන්නද?” එබඳු අවස්ථාවලදී මම ද අසා ඇත්තෙමි.

”ලොකු වැඩක් නම් තමයි, ඒත් කමක් නැහැ. කියන්න දරුවා කාරණේ” එවිට ඔවුන්ගේ පොදු පිළිතුර වනුයේ එයයි. එවන් සිදුවීම් අත් දකින දුරකථන ඇමතුම් දෙන බොහෝ දෙනකුට සිතනුයේ එම ස්ථානය ලොකු ලොකු වැඩ කරන තැනක් බවය. එහෙත් ඒවායේ කෙරෙන මෙලෝ මළ ඉලව්වක් නැත. කෙරෙනුයේ ඉතාම සරල බාල බොළඳ වැඩක් පමණි. එනම් පුවත්පත් දැන්වීම් වලින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන විට නිවසේ කැසට් රෙකෝඩරය හෝ සී.ඞී. ප්ලේයරය කි‍්‍රයාත්මක කිරීම පමණි.  ඔවුන් මුල්වරට ගණුදෙනුකරුවන් ගොනාට අන්දවනුයේ එබඳු ”ගුරුකම්” වලිනි.

කූරගන්දෙනියෙන් මන්තර ගුරුකම් වැඩ කරගැනීමට රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කර බකංනිලාගෙන ඉන්නට සිදුවී ඇති පිරිස ද ලක්‍ෂ ගණනකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉල්ලන් කෑම සිය ජීවන වෘත්තිය කරගත් රොඞී ගෝත‍්‍රිකයන්ගෙන් නිකරුණේ ඉල්ලන් කෑ හැටි සමාජයට නොකියති. එහෙත් ශත පහක වත් ඵලප‍්‍රයෝජනයක් නොමැතිව තමන් අතින් ඔවුනට බිලි වූ විශාල ධනස්කන්දය ආපසු ගැනීමට රහසිගතව හූල්ලන්නවුන් සේම වීරිය දරන්නෝ ද හිඟ නොවෙති.

ඔවුන් ඒ සඳහා ගන්නා පළමු පියවර කූරගන්දෙණියේ මන්තර ගුරුකම්කරුවන්ට දුරකතනයෙන් බැණ වැදීම ය. නැතහොත් තර්ජනය කිරීමය. එහෙත් එසේ බැණුමක් දෙකක් අසා කෝප වීමට හෝ දුරකතනය මඟහැරීමට තරම් ඔවුහු අඥන නොවෙති. 

”දෙයි හාමුදුරුවනේ රුපියල් අසූහතර දාහක් වියදම් වුණා නේන්නම්. ඒක නේන්නම් දරුවෝ මටත් මේ හිතාගන්න බැරි.” ඔවුන් දුරකතනයට පිළිතුරු දෙනුයේ ඇමතුම දෙන්නාට සීයට සීයක් පක්‍ෂපාතී ලෙස කරුණු දක්වමිනි. එවිට තම බැණුමේ සැර ටිකක් හෝ බාල කර ගන්නට ඇමතුම දෙන්නාට ඉබේටම සිදුවෙයි.

”මම හිතන්නේ දරුවෝ මේක ඔය දරුවා සංසාරේ කරපු මහා බරපතල පාපකරුමයක් හින්දා වෙච්ච දෙයක්. නැත්නම් කීයටවත් මෙහෙම වෙන්න බැහැ. කමක් නැහැ මට ආයෙත් ඔය දරුවාගෙන් එක තඹ දොයිතුවක් වත් එපා. පූජා භාණ්ඩ වලට  ඕන නම් තව රුපියල් විසි දාහක් විතර යාවි ඒක මගේ අතින්ම පලච්චාවේ. මම ඔය දරුවාගේ වැඬේ මොන ක‍්‍රමයකින් හරි කරලා දෙන්න බලන්නම්කෝ”

ඉහත සඳහන් අන්දමේ සාටෝපකාරී වදන් ඇසෙත්ම බොහෝ දෙනකු ඊට තරමක් හෝ නතුවීම ස්වභාවික ය. එහෙත් යමකු එසේ පමණ ඉක්මවා නතු බවක් පළ කිරීම ද නැවතත් ඔවුන්ගෙන් ඉල්ලන් කෑමට මුල්වන පොටකි.

”මයෙ පුතේ ඇත්තෙන්ම කියනවා නම් මාත් කියලා එහෙමට ඉතුරු කරගත්තු දෙයක් නැහැ. මොකද මම මේවා සල්ලි හම්බු කරන දේවල් නෙවෙයිනේ” යනුවෙන් මන්ත‍්‍රකරු හෝ මන්ත‍්‍රකාරිය පහත් හඬින් මුමුණනු ගනුදෙනුකරුට අසාගත හැකි වනු ඇත. එමෙන්ම ඒ සමඟම ඔහුට ඊටත් වඩා පහත් හඬකින් මෙබඳු වදන් කීපයක් ද අසාගත හැකි වුවහොත් කෙසේවත් පුදුම විය හැකි නැත.

”ඒ හින්දා දරුවෝ ඒ පූජා භාණ්ඩවලට යන වියදමෙන් කොටහක් හරි මට ලැබුණොත් නම් ලොකු උදව්වක්”

දුරකතනය මගින් එල්ලවන තම ගනුදෙනුකරුවාගේ බැණුම ඉතා පහත් නින්දිත මට්ටමක තිබුණ ද ඉන් පසුගාමී නොවීම මෙම බොහෝ ඇදුරන්ගේත් ඇදුරුවරියන්ගේත් පොදු ලක්‍ෂණයකි. විශාල ධනයක් වියදම් කළ ද අරමුණු ඉටු නොවීම ගැන පැවසෙන වහසි බස්වලට ඔවුහු සාවධානව සවන්දෙති. එම මන්ත‍්‍රකරු අද්දර ඇති තවත් දුරකතනයක් හැඬවෙනු ඇමතුම දෙන ගනුදෙනුකරුට ඇසෙනුයේ ඒ අතරේ ය. 

”දරුවා පිටරටකින් කෝල් එකක් තියනවා මම මොකක්ද බලනකන් ඔහොමම තප්පරයක් ලයින් එකේ ඉන්න.” මන්ත‍්‍රකරු හෝ කාරිය එසේ කියනුයේ තමන්ට සැරපරුෂ ලෙස බැණ වදින ඉච්ඡාභංගත්වයට පත් ගනුදෙනුකරු පිළිබඳ කිසිදු අහිතක් නොමැති අයුරිනි.

”හත්දෙයියනේ”  විදේශ දුරකතකන ඇමතුමට මන්ත‍්‍රකරු එසේ පිළිතුරු දීම අරඹනු ඉහත ගනුදෙනුකරුට ඇසේ. 

”දෙයියනේ කවදද? මොනවා වෙලාද?" ඒ සමගම ඇදුරා අනෙක් දුරකතන ඇමතුම දෙන තැනැත්තාගෙන් නොඉවසිලිමත්ව අසනු ගනුදෙනුකරු අසා සිටිනුයේ පිබිද එන කුතුහලයෙනි. 

”වාහනයකට යට වෙලා ඔළුව පොඩි පට්ටම් වෙලා....... අනේ අප්පොච්චියේ” ඒ සමගම මන්ත‍්‍රකරු සුසුම්ලනු ද ඉහත ගනුදෙනුකරුට ඇසේ.

”ඒකනේ දරුවෝ මම කිව්වෙ ඔය වගේ දේකට ඔච්චර බරපතල ගුරුකමක් කරවා ගන්න එපා කියලා. කොහොම හරි ඔය මනුස්සයට ඔහොම විපතක් වෙයිදෝ කියලා මට මුලදිම සැකයකුත් ඇතිවුණා. ඒත් ඉතින් ඔය දරුවගේ බලකිරීමට තමයි මම තරම් බරපතල වැඩක් කළේ....... "

තම දුරකතනයෙන් මඳ වශයෙන් හෝ නැගී එන එම හඬට මුල් ගනුදෙනුකරු ඊළඟට සවන් දෙනුයේ තම කුතුහලයට එක් කරගත් ප‍්‍රබල විස්මයක් ද සමගිනි.

”ඔව් ඉතින් ඔය වගේ ස්වාමි පුරුෂයෙක් නම් ඉන්නවට වඩා නැති එකම තමයි හොඳ...... කෝකටත් ඔය දරුවා ලංකාවට ඇවිත් කිසිම වෙනසක් නැතුව ඒ මළගමේ වැඩ වලට සම්බන්ධ වෙන්න. හැබැයි අපේ මේ ගුරුකම් වැඬේ ගැන කටේ කෙළ බිංදුවක් හලනවා එහෙම නෙවෙයි. බැරි වෙලාවත් මේ කතාව එහෙම ප‍්‍රසිද්ධ වුණොත් අපි දෙන්නත් ගස් තමයි.” මන්ත‍්‍රකරු අනෙක් දුරකතනයෙන් සිදුකරන එම සංවාදය අසා සිටින ඔහුට මීට පෙර දුරකතනයෙන් බැණවැදුණු ගනුදෙනුකරුට ඔය අතරේ තම සිරුර දහඩියෙන් තෙත් වනු දැනීම අතිශය ස්වභාවික ය. ඒ සමගම වැය වූ මුදලට වඩා තම ජීවිතය වටිනා බව සැනින් නිගමනය කරන ඔහු හනික ඇමතුම විසන්ධි කරයි. නැතහොත් දුරකතනය ද ක‍්‍රියා විරහිත කොට දමයි. ඒ මහා බල සම්පන්න හුලවාලි මන්ත‍්‍රාචාර්යවරයාගේ කෝපය හෝ ශාපය තමන් වෙත යොමු නොවනු පිණිස ය. නමුදු මන්ත‍්‍රකරුගේ දෙවන දුරකතනයට එන්නේ සැබෑ දුරකතන ඇමතුමක් නොවේ. එය වූ කලී ඔහු සමීපයේ ඇති වෙනත් ජංගම දුරකතනයක් ව්‍යාජ ලෙසින් නාද කරවීමක් පමණි.

කූරගන්දෙණියේ මන්ත‍්‍ර ගුරුකම්කරුවන් තමන් ලූහුබැඳ එන සතුරන්ගෙන් මිදීම පිණිස ක‍්‍රියාවට නංවන මෙම අපූරු ගුරුකම පිළිබඳ පාඩම මා උගත්තේ ද කූරගන්දෙණියේම වියපත් ඇදුරෙකු වෙතිනි. කූරගන්දෙණියේ හුලවාලි මන්තර ගුරුකම් පිළිබඳ එළියට නොආ තවත් එබඳු ”රස රහස්” බොහොමයක් අදත් ඔවුන් අතරේ ක‍්‍රියාවට නැංවෙනු ඇත. උපායශීලි ලෙස කූරගන්දෙණියේ මන්තර ගුරුකම් පාරාදීසයට රිංගා ගන්නා ඔබට උපක‍්‍රමිකව ඔවුන් වෙතින්ම ඒ ගුරුකම් ඉගෙන ගැනීමට ද බැරිකමක් නැත.


හුලවාලී ගුරුකම් ගැන හුඹස් බියක්

හුලවාලි වශී ගුරුකම්, රොඞී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ඔවුන් සතුව ඇතැයි පැවසෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ මහත් බියක් පැවති බවට සාක්‍ෂි  ඕනෑතරම් තිබේ.  ඕනෑම කුලවත් වංශවත් කාන්තාවකගේ සිහි විකල් කොට නීච කුල බන්ධනයට නතු කරගනිමින් තම වාසස්ථානය හෙවත් කුප්පායම වෙත අද්දවා ගැනීමේ ගුප්ත හාස්කම් බලයක් මෙම ගෝත‍්‍රිකයන් සතුව ඇතැයි පැරැන්නෝ තදින්ම විශ්වාස කළහ. විශේෂයෙන් මෙම ගෝත‍්‍රයේ පිරිමියකු වෙනත් කුලයක කාන්තාවකගේ සිරුරට අත තැබීමෙන්ම ඇය මෙම බන්ධනයට නතු වන බවක් එකල ප‍්‍රචලිතව පැවතිණ. මිනිසුන් දහස් ගණන් රැස්වන බදුල්ලේ පැවැත්වෙන (ආගමික) උත්සව අතරට රහසින් රිංගන මෙම මිනිසුන්ගේ වසඟයට පත්වීම වළක්වනු පිණිස ඒවාට එක්වන කුලවත් කතුන් හතර පස්දෙනා එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන ගමන් කළ පුවතක් ලූවිස් එෆ් ලෙෂින් 1861 වසරේ තැබූ සටහනක ^A Brief Account of Ceylon, Jafna& දැක්වෙයි.

කූරගන්දෙණිය ගම්මානයේ මන්ත‍්‍ර ගුරුකම් මධ්‍යස්ථානයක් ලෙසින් හැඳින්වුණු නිවසකට මා හා පුරා කියා පිවිසියේ එම ස්ථානයෙන් කිසියම් සේවයක් අපේක්‍ෂා කරන්නකු ලෙසිනි. නවීන ගෘහඋපකරණ වලින් යුතු නිවෙසක් වූ එහි ඉදිරිපස කාමරය මන්ත‍්‍ර ගුරුකම් කටයුතු උදෙසා වෙන්කොට තිබිණ. එහි මන්ත‍්‍ර ගුරුකම් කළේ මැදිවියේ කාන්තාවකි. 

”පුංචි වැඩක් කරගන්නයි මම ආවේ. හැබැයි ඊට කළින් මට ගාස්තු ගැනත් දැන ගන්න  ඕනේ” ඇය ඉදිරියේ වාඩි වූ මම කීවෙමි.

”අපි මේවට සල්ලි අය කරන්නේ නැහැ දරුවා. පූජා භාණ්ඩවලට යන වියදම විතරයි ගන්නේ. ඉතින් කියන්න මොකක්ද කාරණේ කියලා” ඇය තම අසුනේ හරිබරි ගැසී වාඩිවෙමින් ඇසුවාය.


එකෙනෙහිම එහි පැමිණි තරුණියක නාදවන ජංගම දුරකතනයක් එම මේසය මත තැබුවේ අපට බාධා කරමිනි. එවිට මා හා මුලපිරූ කතාබහ එක්වරම නතර කර එම කාන්තාව එම දුරකතනයට පිළිතුරු දෙන්නට වූවාය.


”ඔව් දරුවා ගුරු මෑණියෝ තමයි මේ කතා කරන්නේ. ඉතින් කියන්න දරුවා කාරණේ” ඇය කීවේ දයාභරිත හඬකිනි.


"රට ඉන්නවයි කිව්වේ? කොයි දරුවද ඔය? අර සහෝදරයකුගේ ප‍්‍රශ්නයක් ගැන කතා කරපු දරුවද? එහෙම නම් අර ගෙවල් ප‍්‍රශ්නෙද? හරි හරි මට දැන් මතකයි. අර පුරුෂයාගේ ප‍්‍රශ්නේ නේද? ඔව් ඉතින් මොකද වුණේ කියන්නෝ. දවස් හතෙන් හරි ගියා. අද උදේ පුරුෂයා ටෙලිෆෝන් කරලා කරපු වැරදිවලට සමාව ගත්තා. බොහොම හොඳයි බොහොම හොඳයි. එහෙම තමයි දරුවා අපේ මේ ගුරුකම්. මේවා බොහොම බලගතුයි. කීයටවත්ම වරදින්න විදියක් නැහැ. හා හොඳයි, හොඳයි. අනේ දරුවා එහෙම අමුතුවෙන් තෑගිබෝග එවන්න කරදර වෙන්න එපා. තුරුණුවන්ගේ සරණින් ඔය රස්සාව කරගෙන ඉඳලා පස්සේ ලංකාවට ආපු කාලෙක බැරියැ කරන දෙයක් කරන්න. හා හා හොඳයි හොඳයි ආයිත් මොකක් හරි උවමනාවක් වුණොත් කතා කරන්නකෝ". ගිරවියක මෙන් එක දිගටම කියවාගෙන ගිය ඇය එම දුරකතන ඇමතුම හමාර කළේ ”බුදුසරණයි” යන දැහැමි ආශිර්වාදය සමගිනි.

”මගෙන් වැඩක් ගත්ත ළමයෙක්. රට ඉඳන් මට තෑගි එවන්න දඟලනවා. මම කිව්වා මට හදිසියක් නැහැ කියලා.” ඒ සමගම මා හා කී ඇය එම දුරකතනය රැගෙන ආ තරුණියට දුන්නේ සියුම් අභිමානවත් සිනහවකින් යුතුවය. මා ද සවන් දී සිටි ඇය වෙත ආ එම දුරකතන ඇමතුම ගැන ඇය යළි මා හට කීවේ ඇයි? මගේ නිගමනය අනුව මෙම දුරකතන ඇමතුම් කලාවද ඔවුන්ගේ උපාය කෞශල්‍යය විදහා දක්වන්නකි.

පෙරමඟ විසිතුරු

මැණික්හින්න නගරයට පැමිණෙන්නකු හට මේ අපූරු ගම්මානයට පිවිසීම ඉතා පහසු ය. ඒ සඳහා කළ යුත්තේ මැණික්හින්න පොලීසිය ඉදිරිපිට, මහජන පුස්තකාලය අබියසින් ඇති මාවත ඔස්සේ ඉදිරියට පියනැගීම පමණි. එම මාවතේ වම් පසින් ඇත්තේ පොලිස් කී‍්‍රඩාංගණයයි. එහි දකුණු පස මධ්‍යම පාන්තික ස්වරූපයේ නිවාස සහ ඒවා ඉදිරියේ තරගකාරී ලෙසින් සවිකොට ඇති දැවැන්ත ඩිජිටල් නාමපුවරු රැසක් දැකිය හැක. එම පුවරු කියවන යමකුට හැගී යන්නේ මෙලොව වෙසෙන කෙනකු මුහුණ දෙන  ඕනෑම ප‍්‍රශ්නයකට ස්ථිරසාර ගුප්ත විසඳුම් ලබාදිමේ විස්මිත හැකියාවක් මේ අපූරු ගම්මානයේ වැසියන් සතුව පවතින බවකි. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයින් දන්නා හදුනන සියලූ දෙවිවරුන්ගේත්, ඇතැම් යකුන්ගේත් නම් සේම චිත‍්‍ර ද මෙම පුවරු සමහරක දැකිය හැක.

2009 දෙසැම්බර් 29දා පෙරවරු 10ට ආසන්න වේලාවක කූරගන්දෙණිය ගම්මානයට පිවිසෙනු පිණිස එම මාවත ඔස්සේ හෙමි හෙමින් ගමන් කරමින් සිටි මට පාර අද්දර සතුටු කතාබහක යෙදී සිටි කතුන් කිහිප දෙනකු දක්නට ලැබිණ. ඒ එම අහල පහළ නිවෙස්වල කතුන් බව මම හනික වටහා ගතිමි. ඉතා පිරිසිදුවට හා ක‍්‍රමානුකූල ලෙස හැඳපැළඳ සිටි ඔවුන්ගෙන් බොහොමයක් වෙසෙසින් කැපී පෙනෙන තරමටම රන්මාල, වළලූ හා මුදු පැළඳ සිටියහ. ඒ පිරිස අතරින් වැඩිදෙනකු තරුණියෝ වූහ. කිසිදු පැකිලීමකින් තොරව ”රූමත්” ලෙසින් හඳුන්වාලිය හැකි අන්දමේ රූපකායන් ඔවුන් වැඩිදෙනකු වෙතින්ම දක්නට ලැබිණ. ඒ මොහොතේ ඔවුන් කළ කතා බහට ”කෙහෙළිය මහත්තයා” ”ෂෝ එක” යන වදන් ඇතුළත් වනු මට යන්තමින් අසා ගත හැකි විය.  ඒ සම්බන්ධයෙන් පසුව අනෙකකුගෙන් කළ විපරමකදී මට දැන ගන්නට හැකි වූයේ 2010 නව වසර උදාව මුල්කොට මෙම කූරගන්දෙණිය ගම්වාසීන් මැණික්හින්න පොලිස් කි‍්‍රඩාගණයේ දැවැන්ත සංගීත ප‍්‍රසංගයක් සංවිධානය කොට ඇති බවය. ඒ සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස උඩරට වංශවත් පරපුරකින් පැවත එන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහභාගී වන බව ද මට පසුව අසන්නට ලැබිණ. එය යල් පැන ගිය පැරණි ගෝත‍්‍රවාදය නූතන දියුණු සමාජයේ කුණු බක්කියකට ඇද වැටී ඇති බව හඟවන සුබ ලකුණකි. මේ අතර එසේ කතා කරමින් සිටි කාන්තාවන් අතරින් එක් තැනැත්තියක අත මිට මොළවාගෙන සිටි ජංගම දුරකතනයක් හැඬවෙන්නට විය. එවිටම එම දුරකතනයට කණ හොවාගත් ඇය තම මිතුරියන් වෙතින් මිදී මා පසුපසින් මඳ දුරක් ගමන් කරන්නට වූයේ ”ඔව් මයෙ පුතේ මේ දේවාලයෙන් තමයි කතා කරන්නේ. ඉතින් කියන්න කාරණේ” යැයි සුහදශීලී ලෙසින් කියමිනි. එහෙත් මා දුටු එහි සුවිශේෂත්වය වූයේ තම ජංගම දුරකතනයෙන් ”මයෙ පුතා” යනුවෙන් කිසිවකු ඇමතූ ඇය අවුරුදු විස්සක, විසිදෙකක තරමේ තරුණියක වීමය.

Monday, September 27, 2010

දොරින් දොර ගුරුකම්

මහනුවර හා මැණික්හින්න අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර දොළහකි. මහනුවරින් ගමන් ගන්නා බසයකට කටුගස්තොට හා මඩවල යන නගර පසුකොට මැණික්හින්නට ළඟාවීමට පැයකට ළංවන කාලයක් ගතවෙයි.

මෙම ගමන ඒමට පෙර කූරගන්දෙනියේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන බව පැවසෙන ස්ථාන බොහොමයකට දුරකතන ඇමතුම් දීමේදී ඔවුන් කියා සිටියේ මැණික්හින්න ග‍්‍රාමීය බැංකුව අද්දරින් බැස කිසිවකුගෙන් මඟතොට නොඅසා සිය ජංගම දුරකතන වලට ඇමතුම් දෙන ලෙසය. එලෙස මැණික්හින්නෙන් බැස අවට සිටින්නවුන්ගෙන් තොරතුරු විමසීමෙන් මා අවට  සැරිසරන කපටින්ට වංචාකාරයන්ට හෝ ඔවුන්ගේ තරව්කරුවන්ට හසුවිය හැකි බවට ද ඒ මන්ත‍්‍රාචාර්යවරු කල් ඇතිවම මට අනතුරු ඇඟවූහ. ඔවුන්ගෙන් ලැබුණු ඒ අවවාදවලින් මා තුළ පැවැති සැකය කුතුහලය සහ ඒ පිළිබඳව සියුම් ලෙස විමසා සිටීමේ උනන්දුව වඩාත් උත්සන්න විය.


මෙම හුලවාලී මන්ත‍්‍ර ගුරුකම්වල පාරම්පරික හිමිකරුවන් වන රොඞී හෙවත් ගාඩි ජනයා පිළිබඳ විවිධ මුඛ පරම්පරාගත කතා පවතී. එහෙත් ඔවුන් පිළිබඳ තතු ශ‍්‍රී ලංකාවෙන් බැහැරට ගෙන යාම පිළිබඳ ගෞරවය ක‍්‍රි.ව. 1660-1679 අතර මෙරට එළිමහන් සිරකරුවකු ලෙස දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් ශී‍්‍රමතානන්ට අවිවාදයෙන් පුද කළ යුතුය. ශී‍්‍ර ලංකාවේ විශේෂිත ජන කොටසක් වන මෙම ජනයා පිළිබඳව ඉන්පසු විවෘත අවධානයක් යොමුව ඇත්තේ ඉංගී‍්‍රසි යටත් විජිත සමයේ බව මූලාශ‍්‍ර විමසීමේදී පෙනෙයි. ෆර්ගියුසන්, එමර්සන්, ටෙනන්ට්, හියු නෙවිල්, ජෝන් ඩොයිලි, විල්හෙම් ගයිගර් ආදී බටහිර ජාතිකයන් මෙම ජන කොටස පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කිරීමෙන් අනාගත පරපුර උදෙසා ඉටුකළ මෙහෙවර අති විශිෂ්ටය. ඔවුන් අතරින් 1865 ශී‍්‍ර ලංකාවට පැමිණි ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිලධාරී හියු නෙවිල් මෙම කූරගන්දෙණිය ඇතුළු එම ජනතාව වෙසෙන ස්ථානවලට ගොස් ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරය වටහාගෙන ඒ පිළිබඳව මානව සහ සමාජ විද්‍යාත්මක නිරීක්‍ෂණය සිදුකොට තිබීම විස්මය දනවන්නකි. ඒවා මුල් කොට තැප්‍රොබේන් වැනි සමකාලීන වාර ප‍්‍රකාශනයන් හි ඔහු තැබූ සටහන් අදත් ජීවමාන ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් වකවානුවේ කන්ද උඩරට බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රමුඛ කොමසාරිස් පදවිය හෙබවූ ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ වාර්තාවල ද මෙම කූරගන්දෙණිය සහ එහි ජනතාවගේ ඉඩම් හිමිකම් පිළිබඳව පවා සඳහන් වීම විශේෂත්වයකි. 

ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශාධිපති පදවිය හොබවා පසුව ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවට එක්වී ශ‍්‍රී ලංකාවේ ජන වර්ග පිළිබඳව ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් කළ සුප‍්‍රකට මානව විද්‍යාඥ එම්.ඞී. රාඝවන් මෙරට රොඞී ජනයා පිළිබද විශිෂ්ට නිබන්ධනයක් ඉදිරිපත් කොට තිබේ. එම ක්ෂේත‍්‍රය පිළිබඳ සිය ගවේෂණ ඇසුරින් 1956 වසරේ එළිදැක්වුණු ඔහු විසින් රචිත Handsome Beggars, The Story of The Ceylon Rodiya නම් කෘතිය එම ජන සමාජයේ අඳුරු මුළු රාශියක් ඒකාලෝක කරමින් එල්ල කෙරුණු අතිශය දීප්තිමත් අලෝක ධාරාවකි. සමස්ත ශී‍්‍ර ලාංකික රොඞී ජනතාව වෙත අතිශය ආදරණීය වූත් සානුකම්පිත වූත් බැල්මක් හෙළන රාඝවන් පඬිවරයා මෙම කූරගන්දෙනිය ගැමියන් හා සුහද සමීප ඇසුරක් පැවැත් වූ බවට ප‍්‍රබල සාක්‍ෂි තම කෘතියෙන් ඉදිරිපත් කරයි. කූරගන්දෙනිය ජනතාව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස සිට හිමිකම් කියන පැහැදිලි ඉතිහාසයක උරුමක්කාරයන් බව කියන රාඝවන් 1948 වසරේ සිදු වූ කූරගන්දෙණියේ ගම් ප‍්‍රධානියා හෙවත් අවුසඳා හුලවාලියාගේ පුත් කරුණාරත්නගේත් එම ජන වර්ගයටම අයත් ගම්පල වේවැල්දෙණියේ යශෝගේත් විවාහ මංගල්‍යය පිළිබඳව වර්ණනා කරනුයේ ඔවුන්ගේ සාම්ප‍්‍රදායක මංගල චාරිත‍්‍ර එකිනෙක අතිශය විචිත‍්‍රවත් අයුරින් අප හැමටම ගෙන එමිනි. මට හිතෙන හැටියට රාඝවන් එම ගැමියන්ගේ මගුල් තුලා ආදියට පවා සහභාගි වී තිබේ.

පෙරවරු නවය හමාරට විනාඩි කිහිපයක් තිබියදී සෞම්‍ය දේශගුණයකින් යුතු මැණික්හින්න නගරයේ ග‍්‍රාමීය බැංකුව අද්දරින් බසයෙන් බැස ගත් මම ඒ අද්දර තිබූ ත‍්‍රිරෝද රථයක් සමීපයට ගියෙමි. එහි රියැදුරු සුමේධ නම් තරුණයෙකි.

”මට යන්න  ඕනේ කූරගන්දෙණියට”


මම හිස මඳක් පහත් කොට රියදුරු අසුනේ සිටි ඔහුට කීවෙමි.


”කූරගන්දෙණියේ කොහාටද?” හෙතෙම ඇසීය.


”අර මන්තර ගුරුකම් කරන තැනකට තමයි”


මා පිළිතුරු දෙත්ම සුමේධගේ මුහුණ ඇඹුල් විය.


”ඒ ගමේ හැමෝම වගේ කරන්නේ මන්තර ගුරුකම් රස්සාව තමයි මහත්තයා. හරියකට තැනක් කියන්නේ නැතුව එහෙම යන්න බැහැ”


ඔහු කීයේ එතරම් සතුටකින් නොවේ.

”කොහේ හරි කමක් නැහැ. විශ්වාසවන්ත විදිහට ඒ වගේ වැඩක් කරවා ගන්න පුළුවන් තැනකට. මම ලොකු කරදරේක වැටිලා ඉන්නේ. ඒකයි මේ කොළඹ ඉඳලම තකහනියක් ආවේ”


මම ව්‍යාජ අසරණබවක් පළ කරමින් සුමේධට කීවෙමි.


”ඒ මිනිස්සුන්ගේ අවංකකම් ගැන නම් මට සහතික වෙන්න බැහැ මහත්තයා. එහෙම නම් මම මහත්තයාව පොලිස් ග‍්‍රවුන්ඩ් එක ළඟට ගිහින් දාන්නම්. කූරගන්දෙණියට යන්නේ එතැනින් එතන ඉඳලම ඉතින් කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් බඩු සාප්පු වගේ දිගටම මන්තර ගුරුකම් කරන තැන් තමයි” මඳක් ඉදිරියට නැවී ලීවරය ඔසවා ත‍්‍රිරෝද රථයේ එන්ජිම පණ ගැන්වමින් සුමේධ කීය. එවිට එම ගුප්ත හුලවාලි ගුරුකම් පාරාදීසයේ සැබෑ තතු විමසීමේ නොඉවසුමින් යුතු මම ද හනික ඊට රිංගා ගතිමි.


ගුරුකම් මෑණි කෙනකු ඇමතුවෙමි

ඉරිදා සහ දිනපතා ජාතික පුවත්පත් සහ කාන්තා පුවත්පත් වල සේම සිංහල අන්තර්ජාල වෙබ් අඩවි වලද මෙම මහ බලගතු හුලවාලි ගුරුකම් හා නීචකුල බන්ධන පිළිබඳ වෙළඳ දැන්වීම් තොග පිටින් දැකිය හැක. එමෙන්ම එම දැන්වීම්වලින් වැඩි කොටසක සඳහන් වන්නේ ද කූරගන්දෙනිය, මැණික්හින්න යන ලිපිනයයි. ඒ අනුව පස්යාලේ බටලීය කජු සඳහාත් මල්වාන රඹුටන් සඳහාත් ප‍්‍රසිද්ධව ඇති සේම නීචකුල බන්ධන සහ හුලවාලි වශී ගුරුකම්  සඳහා මැණික්හින්නේ කූරගන්දෙනියට වේගවත් ප‍්‍රසිද්ධියක් ලැබෙමින් පවතී. එය මෑත සිට ලැබෙන ප‍්‍රසිද්ධියක් වුවද එහි වෙසෙන්නෝ සියවස් ගණනක සිට එකී පාරම්පරික උරුමයට හිමිකම් කියන්නෝ වෙති.  මම ඉරිදා ජාතික පුවත්පතක පළ වූ කූරගන්දෙණියේ මන්ත‍්‍ර ගුරුකම් පිළිබද පුවත්පත් දැන්වීම් පහළොවක සඳහන්ව තිබූ දුරකතන අංකවලට ඇමතුම් දුනිමි. එහෙත් ඒ සෑම විමසුමකදීම මට ලබාගත හැකි වූයේ බොහෝ විට එක සමාන පිළිතුරු මාලාවකි. ඔවුන් බොහෝ දෙනකු දුරකතනයෙන් මා අමතා සිටියේ ”දරුවා” යනුවෙනි. ඒ අතර මහත්තයා යනුවෙන් අමතන්නෝ  කිහිප දෙනෙක් ද වූහ. ”මෑණියෝ” යනුවෙන් පෙනී සිටි මන්ත‍්‍රකාරියක් ”මයෙ පුතා” යන සෙනෙහබර වදනින් මා අමතා සිටියාය. එබැවින් ඇය හා මා අතර පැවති දුරකතන සංවාදය මෙසේ ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. 

”මම මේ කතා කරන්නේ ඉඩම් ප‍්‍රශ්නයකට මෑණියන් ලවා මොනවා හරි කර ගන්න පුළුවන්ද බලන්න” මඳක් පැකිලෙන බවක් අඟවමින් ඇයට කීවෙමි.

”පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම් මයෙ පුතේ. පුතා කොහෙද?” ඒ මෑණියෝ දයාබරිතව අසා සිටියාය.

”මම ගම්පහ කිට්ටුව” මම ඇත්තම කීවෙමි.


”ඉතින් මොකක්ද මයෙ පුතේ ප‍්‍රශ්නෙ?” මෑණියෝ ඇසූහ.


”මගෙ මස්සිනා අර ඉඩම තනිවම කනවා. අපේ කොටහත් බලෙන්ම අයිති කරගෙන. මුළු ගමම විරුද්ධයි මිනිහා කරන ඔය වැඬේට” මා කීයේ කිසිදු පදනමක් නොමැති කතාවකි.

”කොහෙද මයෙ පුතේ ඔය ඉඩම තියෙන්නේ?” අනතුරුව ඇය අසා සිටියාය.


”ඉඩම තියෙන්නේ අතන මිනී පිට්ටනියට පහලින්.  ඕවිට ළඟ. සුගතේ බාස් උන්නැහේගේ කම්මලට මෙහා කොටහ” බාහිර ලෝකය ගැන කිසිවක් නොදත් ලෙසින් මම කීවෙමි.


”හරි......හරි......මට දැන් තේරෙනවා. මයෙ පුතා බය වෙන්න එපා. මම  ඕකට මයෙ පුතාට මොකක්ද හරි සහනයක් අරන් දෙන්නම්. මයෙ පුතාට කවද්ද මෙහෙ එන්න පුළුවන්.” අනතුරුව ඇය අසා සිටියේ දයානුකම්පාවෙන් පිරී ගත් හඬකිනි.

”මම ලබන සුමානේ දවසක එන්නද?” මම ද ඇසීමි.


”එහෙනම් මයෙ පුතා නුවරට ඇවිල්ලා මේ නොම්මරයටම කෝල් එකක් දෙන්නකෝ. එතකොට මම කියන්නම හරියටම එන විදිහ” අනතුරුව ඇය කීවාය.


”හැබැයි මම මැණික්හින්නට එන විදිහ නම් දන්නවා. මම දෙතුන් වලියක් ඇවිදිනුත් තියනවා”. මම හනික කීවෙමි.


”එහෙම ඇවිත් මයෙ පුතාට තැන හරියට හොයා ගන්න බැහැ. ඒ හින්ද මයෙ පුතා මම කියන දේ කරන්නකෝ” මගේ ඒ පිළිතුරෙන් නොසෑහුණු මෑණියෝ මට එලෙස අවවාද කළාය.

”මට එහෙම කෝල් එකක් දෙන්න අතේ ගෙනියන ෆෝන් එකක් නෑ... ඒ හින්දා මම කෙළින්ම පත්තරේ තියන මෑණියන්ගේ ඇඩ්රස් එක හොයාගෙනම එන්නම්. අවුලක් නැහැ” මම යළි කීවෙමි.


එවිට තම අවවාදය පිළිගැනීමට අකමැති මෙම ”අකීකරු පුත‍්‍රයා” කෙරෙහි එම මෑණියෝ කෝප වූහ. ඇය කෙතරම් කෝප වූයේද යත්, ඇය ඒ මොහොතේ සිට ”මයෙ පුතා” යන දයාබර ආමන්ත‍්‍රණය අතහැර දැමුවාය.


”මේ ගමේ හැමෝම වගේ කරන්නේ මන්තර ගුරුකම් වැඩ. ඒ හින්දා ඔය දරුවට එක පාරටම මම ඉන්න තැන හොයා ගන්න අමාරුයි. සමහරවිට කවුරු හරි ඔය දරුවව වෙන තැනකට ඩැහැගෙන යන්නත් ඉඩ තියෙනවා. ඒකයි මම මේ සුද්ද සිංහලෙන් කියන්නේ. ඒ හින්දා මම කියන දේ අහන්න” අනතුරුව ඇය කතා කළේ කිසියම් තරවටුවක ස්වරූපයෙනි. 


”එතකොට එ් වගේ කපටිකම් කරන මිනිස්සුත් ඔහෙ ඉන්නවාද?” එම කතාවේ සැබෑ අරුත තේරුම් ගත නොහැකිව අන්දමන්ද වූවකු ලෙසින් මම ඇසුූවෙමි.

”මේ රටේ කපටි කයිරාටිකයෝ නැත්තේ කොහෙද දරුවා? මෙහෙත් ඉන්නවා ඇති පදමට මෙහෙ වුණත් අවංකව වැඩ කරන අය ඉන්නේ කීප දෙනයි” මගේ පැනයට මෑණියන්ගෙන් ද ක්‍ෂණික පිළිතුරක් ලැබිණ.