Monday, September 27, 2010

දොරින් දොර ගුරුකම්

මහනුවර හා මැණික්හින්න අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර දොළහකි. මහනුවරින් ගමන් ගන්නා බසයකට කටුගස්තොට හා මඩවල යන නගර පසුකොට මැණික්හින්නට ළඟාවීමට පැයකට ළංවන කාලයක් ගතවෙයි.

මෙම ගමන ඒමට පෙර කූරගන්දෙනියේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන බව පැවසෙන ස්ථාන බොහොමයකට දුරකතන ඇමතුම් දීමේදී ඔවුන් කියා සිටියේ මැණික්හින්න ග‍්‍රාමීය බැංකුව අද්දරින් බැස කිසිවකුගෙන් මඟතොට නොඅසා සිය ජංගම දුරකතන වලට ඇමතුම් දෙන ලෙසය. එලෙස මැණික්හින්නෙන් බැස අවට සිටින්නවුන්ගෙන් තොරතුරු විමසීමෙන් මා අවට  සැරිසරන කපටින්ට වංචාකාරයන්ට හෝ ඔවුන්ගේ තරව්කරුවන්ට හසුවිය හැකි බවට ද ඒ මන්ත‍්‍රාචාර්යවරු කල් ඇතිවම මට අනතුරු ඇඟවූහ. ඔවුන්ගෙන් ලැබුණු ඒ අවවාදවලින් මා තුළ පැවැති සැකය කුතුහලය සහ ඒ පිළිබඳව සියුම් ලෙස විමසා සිටීමේ උනන්දුව වඩාත් උත්සන්න විය.


මෙම හුලවාලී මන්ත‍්‍ර ගුරුකම්වල පාරම්පරික හිමිකරුවන් වන රොඞී හෙවත් ගාඩි ජනයා පිළිබඳ විවිධ මුඛ පරම්පරාගත කතා පවතී. එහෙත් ඔවුන් පිළිබඳ තතු ශ‍්‍රී ලංකාවෙන් බැහැරට ගෙන යාම පිළිබඳ ගෞරවය ක‍්‍රි.ව. 1660-1679 අතර මෙරට එළිමහන් සිරකරුවකු ලෙස දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් ශී‍්‍රමතානන්ට අවිවාදයෙන් පුද කළ යුතුය. ශී‍්‍ර ලංකාවේ විශේෂිත ජන කොටසක් වන මෙම ජනයා පිළිබඳව ඉන්පසු විවෘත අවධානයක් යොමුව ඇත්තේ ඉංගී‍්‍රසි යටත් විජිත සමයේ බව මූලාශ‍්‍ර විමසීමේදී පෙනෙයි. ෆර්ගියුසන්, එමර්සන්, ටෙනන්ට්, හියු නෙවිල්, ජෝන් ඩොයිලි, විල්හෙම් ගයිගර් ආදී බටහිර ජාතිකයන් මෙම ජන කොටස පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කිරීමෙන් අනාගත පරපුර උදෙසා ඉටුකළ මෙහෙවර අති විශිෂ්ටය. ඔවුන් අතරින් 1865 ශී‍්‍ර ලංකාවට පැමිණි ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිලධාරී හියු නෙවිල් මෙම කූරගන්දෙණිය ඇතුළු එම ජනතාව වෙසෙන ස්ථානවලට ගොස් ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරය වටහාගෙන ඒ පිළිබඳව මානව සහ සමාජ විද්‍යාත්මක නිරීක්‍ෂණය සිදුකොට තිබීම විස්මය දනවන්නකි. ඒවා මුල් කොට තැප්‍රොබේන් වැනි සමකාලීන වාර ප‍්‍රකාශනයන් හි ඔහු තැබූ සටහන් අදත් ජීවමාන ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් වකවානුවේ කන්ද උඩරට බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රමුඛ කොමසාරිස් පදවිය හෙබවූ ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ වාර්තාවල ද මෙම කූරගන්දෙණිය සහ එහි ජනතාවගේ ඉඩම් හිමිකම් පිළිබඳව පවා සඳහන් වීම විශේෂත්වයකි. 

ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශාධිපති පදවිය හොබවා පසුව ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවට එක්වී ශ‍්‍රී ලංකාවේ ජන වර්ග පිළිබඳව ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් කළ සුප‍්‍රකට මානව විද්‍යාඥ එම්.ඞී. රාඝවන් මෙරට රොඞී ජනයා පිළිබද විශිෂ්ට නිබන්ධනයක් ඉදිරිපත් කොට තිබේ. එම ක්ෂේත‍්‍රය පිළිබඳ සිය ගවේෂණ ඇසුරින් 1956 වසරේ එළිදැක්වුණු ඔහු විසින් රචිත Handsome Beggars, The Story of The Ceylon Rodiya නම් කෘතිය එම ජන සමාජයේ අඳුරු මුළු රාශියක් ඒකාලෝක කරමින් එල්ල කෙරුණු අතිශය දීප්තිමත් අලෝක ධාරාවකි. සමස්ත ශී‍්‍ර ලාංකික රොඞී ජනතාව වෙත අතිශය ආදරණීය වූත් සානුකම්පිත වූත් බැල්මක් හෙළන රාඝවන් පඬිවරයා මෙම කූරගන්දෙනිය ගැමියන් හා සුහද සමීප ඇසුරක් පැවැත් වූ බවට ප‍්‍රබල සාක්‍ෂි තම කෘතියෙන් ඉදිරිපත් කරයි. කූරගන්දෙනිය ජනතාව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස සිට හිමිකම් කියන පැහැදිලි ඉතිහාසයක උරුමක්කාරයන් බව කියන රාඝවන් 1948 වසරේ සිදු වූ කූරගන්දෙණියේ ගම් ප‍්‍රධානියා හෙවත් අවුසඳා හුලවාලියාගේ පුත් කරුණාරත්නගේත් එම ජන වර්ගයටම අයත් ගම්පල වේවැල්දෙණියේ යශෝගේත් විවාහ මංගල්‍යය පිළිබඳව වර්ණනා කරනුයේ ඔවුන්ගේ සාම්ප‍්‍රදායක මංගල චාරිත‍්‍ර එකිනෙක අතිශය විචිත‍්‍රවත් අයුරින් අප හැමටම ගෙන එමිනි. මට හිතෙන හැටියට රාඝවන් එම ගැමියන්ගේ මගුල් තුලා ආදියට පවා සහභාගි වී තිබේ.

පෙරවරු නවය හමාරට විනාඩි කිහිපයක් තිබියදී සෞම්‍ය දේශගුණයකින් යුතු මැණික්හින්න නගරයේ ග‍්‍රාමීය බැංකුව අද්දරින් බසයෙන් බැස ගත් මම ඒ අද්දර තිබූ ත‍්‍රිරෝද රථයක් සමීපයට ගියෙමි. එහි රියැදුරු සුමේධ නම් තරුණයෙකි.

”මට යන්න  ඕනේ කූරගන්දෙණියට”


මම හිස මඳක් පහත් කොට රියදුරු අසුනේ සිටි ඔහුට කීවෙමි.


”කූරගන්දෙණියේ කොහාටද?” හෙතෙම ඇසීය.


”අර මන්තර ගුරුකම් කරන තැනකට තමයි”


මා පිළිතුරු දෙත්ම සුමේධගේ මුහුණ ඇඹුල් විය.


”ඒ ගමේ හැමෝම වගේ කරන්නේ මන්තර ගුරුකම් රස්සාව තමයි මහත්තයා. හරියකට තැනක් කියන්නේ නැතුව එහෙම යන්න බැහැ”


ඔහු කීයේ එතරම් සතුටකින් නොවේ.

”කොහේ හරි කමක් නැහැ. විශ්වාසවන්ත විදිහට ඒ වගේ වැඩක් කරවා ගන්න පුළුවන් තැනකට. මම ලොකු කරදරේක වැටිලා ඉන්නේ. ඒකයි මේ කොළඹ ඉඳලම තකහනියක් ආවේ”


මම ව්‍යාජ අසරණබවක් පළ කරමින් සුමේධට කීවෙමි.


”ඒ මිනිස්සුන්ගේ අවංකකම් ගැන නම් මට සහතික වෙන්න බැහැ මහත්තයා. එහෙම නම් මම මහත්තයාව පොලිස් ග‍්‍රවුන්ඩ් එක ළඟට ගිහින් දාන්නම්. කූරගන්දෙණියට යන්නේ එතැනින් එතන ඉඳලම ඉතින් කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් බඩු සාප්පු වගේ දිගටම මන්තර ගුරුකම් කරන තැන් තමයි” මඳක් ඉදිරියට නැවී ලීවරය ඔසවා ත‍්‍රිරෝද රථයේ එන්ජිම පණ ගැන්වමින් සුමේධ කීය. එවිට එම ගුප්ත හුලවාලි ගුරුකම් පාරාදීසයේ සැබෑ තතු විමසීමේ නොඉවසුමින් යුතු මම ද හනික ඊට රිංගා ගතිමි.


ගුරුකම් මෑණි කෙනකු ඇමතුවෙමි

ඉරිදා සහ දිනපතා ජාතික පුවත්පත් සහ කාන්තා පුවත්පත් වල සේම සිංහල අන්තර්ජාල වෙබ් අඩවි වලද මෙම මහ බලගතු හුලවාලි ගුරුකම් හා නීචකුල බන්ධන පිළිබඳ වෙළඳ දැන්වීම් තොග පිටින් දැකිය හැක. එමෙන්ම එම දැන්වීම්වලින් වැඩි කොටසක සඳහන් වන්නේ ද කූරගන්දෙනිය, මැණික්හින්න යන ලිපිනයයි. ඒ අනුව පස්යාලේ බටලීය කජු සඳහාත් මල්වාන රඹුටන් සඳහාත් ප‍්‍රසිද්ධව ඇති සේම නීචකුල බන්ධන සහ හුලවාලි වශී ගුරුකම්  සඳහා මැණික්හින්නේ කූරගන්දෙනියට වේගවත් ප‍්‍රසිද්ධියක් ලැබෙමින් පවතී. එය මෑත සිට ලැබෙන ප‍්‍රසිද්ධියක් වුවද එහි වෙසෙන්නෝ සියවස් ගණනක සිට එකී පාරම්පරික උරුමයට හිමිකම් කියන්නෝ වෙති.  මම ඉරිදා ජාතික පුවත්පතක පළ වූ කූරගන්දෙණියේ මන්ත‍්‍ර ගුරුකම් පිළිබද පුවත්පත් දැන්වීම් පහළොවක සඳහන්ව තිබූ දුරකතන අංකවලට ඇමතුම් දුනිමි. එහෙත් ඒ සෑම විමසුමකදීම මට ලබාගත හැකි වූයේ බොහෝ විට එක සමාන පිළිතුරු මාලාවකි. ඔවුන් බොහෝ දෙනකු දුරකතනයෙන් මා අමතා සිටියේ ”දරුවා” යනුවෙනි. ඒ අතර මහත්තයා යනුවෙන් අමතන්නෝ  කිහිප දෙනෙක් ද වූහ. ”මෑණියෝ” යනුවෙන් පෙනී සිටි මන්ත‍්‍රකාරියක් ”මයෙ පුතා” යන සෙනෙහබර වදනින් මා අමතා සිටියාය. එබැවින් ඇය හා මා අතර පැවති දුරකතන සංවාදය මෙසේ ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. 

”මම මේ කතා කරන්නේ ඉඩම් ප‍්‍රශ්නයකට මෑණියන් ලවා මොනවා හරි කර ගන්න පුළුවන්ද බලන්න” මඳක් පැකිලෙන බවක් අඟවමින් ඇයට කීවෙමි.

”පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම් මයෙ පුතේ. පුතා කොහෙද?” ඒ මෑණියෝ දයාබරිතව අසා සිටියාය.

”මම ගම්පහ කිට්ටුව” මම ඇත්තම කීවෙමි.


”ඉතින් මොකක්ද මයෙ පුතේ ප‍්‍රශ්නෙ?” මෑණියෝ ඇසූහ.


”මගෙ මස්සිනා අර ඉඩම තනිවම කනවා. අපේ කොටහත් බලෙන්ම අයිති කරගෙන. මුළු ගමම විරුද්ධයි මිනිහා කරන ඔය වැඬේට” මා කීයේ කිසිදු පදනමක් නොමැති කතාවකි.

”කොහෙද මයෙ පුතේ ඔය ඉඩම තියෙන්නේ?” අනතුරුව ඇය අසා සිටියාය.


”ඉඩම තියෙන්නේ අතන මිනී පිට්ටනියට පහලින්.  ඕවිට ළඟ. සුගතේ බාස් උන්නැහේගේ කම්මලට මෙහා කොටහ” බාහිර ලෝකය ගැන කිසිවක් නොදත් ලෙසින් මම කීවෙමි.


”හරි......හරි......මට දැන් තේරෙනවා. මයෙ පුතා බය වෙන්න එපා. මම  ඕකට මයෙ පුතාට මොකක්ද හරි සහනයක් අරන් දෙන්නම්. මයෙ පුතාට කවද්ද මෙහෙ එන්න පුළුවන්.” අනතුරුව ඇය අසා සිටියේ දයානුකම්පාවෙන් පිරී ගත් හඬකිනි.

”මම ලබන සුමානේ දවසක එන්නද?” මම ද ඇසීමි.


”එහෙනම් මයෙ පුතා නුවරට ඇවිල්ලා මේ නොම්මරයටම කෝල් එකක් දෙන්නකෝ. එතකොට මම කියන්නම හරියටම එන විදිහ” අනතුරුව ඇය කීවාය.


”හැබැයි මම මැණික්හින්නට එන විදිහ නම් දන්නවා. මම දෙතුන් වලියක් ඇවිදිනුත් තියනවා”. මම හනික කීවෙමි.


”එහෙම ඇවිත් මයෙ පුතාට තැන හරියට හොයා ගන්න බැහැ. ඒ හින්ද මයෙ පුතා මම කියන දේ කරන්නකෝ” මගේ ඒ පිළිතුරෙන් නොසෑහුණු මෑණියෝ මට එලෙස අවවාද කළාය.

”මට එහෙම කෝල් එකක් දෙන්න අතේ ගෙනියන ෆෝන් එකක් නෑ... ඒ හින්දා මම කෙළින්ම පත්තරේ තියන මෑණියන්ගේ ඇඩ්රස් එක හොයාගෙනම එන්නම්. අවුලක් නැහැ” මම යළි කීවෙමි.


එවිට තම අවවාදය පිළිගැනීමට අකමැති මෙම ”අකීකරු පුත‍්‍රයා” කෙරෙහි එම මෑණියෝ කෝප වූහ. ඇය කෙතරම් කෝප වූයේද යත්, ඇය ඒ මොහොතේ සිට ”මයෙ පුතා” යන දයාබර ආමන්ත‍්‍රණය අතහැර දැමුවාය.


”මේ ගමේ හැමෝම වගේ කරන්නේ මන්තර ගුරුකම් වැඩ. ඒ හින්දා ඔය දරුවට එක පාරටම මම ඉන්න තැන හොයා ගන්න අමාරුයි. සමහරවිට කවුරු හරි ඔය දරුවව වෙන තැනකට ඩැහැගෙන යන්නත් ඉඩ තියෙනවා. ඒකයි මම මේ සුද්ද සිංහලෙන් කියන්නේ. ඒ හින්දා මම කියන දේ අහන්න” අනතුරුව ඇය කතා කළේ කිසියම් තරවටුවක ස්වරූපයෙනි. 


”එතකොට එ් වගේ කපටිකම් කරන මිනිස්සුත් ඔහෙ ඉන්නවාද?” එම කතාවේ සැබෑ අරුත තේරුම් ගත නොහැකිව අන්දමන්ද වූවකු ලෙසින් මම ඇසුූවෙමි.

”මේ රටේ කපටි කයිරාටිකයෝ නැත්තේ කොහෙද දරුවා? මෙහෙත් ඉන්නවා ඇති පදමට මෙහෙ වුණත් අවංකව වැඩ කරන අය ඉන්නේ කීප දෙනයි” මගේ පැනයට මෑණියන්ගෙන් ද ක්‍ෂණික පිළිතුරක් ලැබිණ.


හුලවාලී ගුරුකම් පාරාදීසයේ සවාරියක්

දිනය 2009 දෙසැම්බර් විසි නව වන දාය. මා එදින පෙරවරු අටයි තිහට මහනුවර නගර මධ්‍යයේ ඔරලෝසු කනුව අබියසින් ගමන් ඇරඹූ මඩවල හරහා දිගන බලා දිවෙන මාර්ග අංක 613 දරන පෞද්ගලික බස් රථයට නැගුණෙමි. කිසියම් රහසිගත ගමනක් අරඹමිනි. කන්ද උඩරට පාතදුම්බර, හුරිකඩුවේ, මඩිගේ හි කූරගන්දෙණිය නම් ඓතිහාසික හුලවාලිගම්මානයට හීන් සීරුවේ රිංගා ගැනීම ඒ ගමනේ අරමුණ විය.

නීචකුල බන්ධන, හුලවාලි වශී ගුරුකම් ආදිය අප රටේ සාමාන්‍ය ජන සමාජයට නුහුරු හෝ ආගන්තුක ඒවා නොවේ. මිනිසුන්ගේ සිත්සතන් උඩු යටිකුරු කළ හැකි නොයෙකුත් යන්ත‍්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත‍්‍ර රැසක් අප රටේ වෙසෙන රොඞී හෙවත් ගාඩි ජනයා සතුව පවතින බව පොදු පිළිගැනීමකි. දුරාතීතයේ යම් යම් බරපතල වැරදි සඳහා දෙන කිසියම් දඬුවම් ලෙස රාජ නියෝග මගින් සමාජ පන්තීන් අතරින් නෙරපනු ලැබූ විවිධ තරාතිරම්වලට අයත් ජන සමූහයකින් රොඞී හෙවත් ගාඩි වංශය සමන්විත වන බවක් පැවසෙයි. ඒ අනුව එවක පැවති සාමාන්‍ය ජන සමාජයේ සියලූ ජීවනෝපායන් ඔවුනට අහිමි වී තිබේ. රජ අනින් ප‍්‍රකාශ වී ඇත්තේ ඔවුන් සෙසු ජන සමාජයෙන් සිඟමන් යැද දිවි ගෙවිය යුතු බවකි.  ඉන්පසු කාලාන්තරයක් තිස්සේ එම වංශයට අයත් වූවන් ගෙයින් ගෙට ගොස් සිඟමන් යැද සිටියේ රජ අණ පිළිපදිනු විනා තමන්ගේ අභිලාෂයන් මත නොවේ.

පැරණි රජ අණ අනුව යමින් දෙයියෝ බුදුවන්ඩ වැනි අතිප‍්‍රාමාණික ගෞරව නාමවලින් සාමාන්‍ය ජනතාව අමතමින් සිඟමන් යැද සිටියද එදා මෙදා තුර ඔවුන් එය සිදු කොට ඇත්තේ සියුම් අභිමානයක් ද සමගිනි. සාමාන්‍ය යාචකයන් ඉතා යටහත් පහත් බයාදු ආයාචනාත්මක ස්වරයෙන් ගෙන ගෙට ගොස් සිඟමන් යදින විට මොවුහූ ඊට වඩා උස් තියුණු මුවහත් ස්වරයකින් හඬ නගමින් සිඟමන් අයැද සිටිති. ඒ තම වෘත්තීය හිමිකම අනියම් ලෙසින් සමාජය හමුවේ ඉදිරිපත් කරමිනි. රොඞී හෙවත් ගාඩි වංශිකයන් තුළ පවතින මේ සියුම් අභිමානයට ඔවුන්ගේ පෙළපතේ ආරම්භය පිළිබඳ වු පුරාවෘත්තයක් ද මුල් වී තිබේ. එය රජවාසල රොඩු අමදින්නා සමග දීග කන්නට සිදු වූ පරාක‍්‍රමබාහු නම් රජ කෙනකුගේ වූ රත්නවල්ලී නම් දියණියකගෙන් තම පරපුර පැවත එන බව පැවසෙන රසවත් කතාවකි. නමුත් ඒ පරාක‍්‍රමබාහු රජුගේ අනන්‍යතාවය හෙළි වී නැත. රොඞී හෙවත් ගාඩි වංශිකයන්ගේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳව අනේක විධි මානව විද්‍යාත්මක මත ප‍්‍රකාශ වී ඇති නමුදු ඒ සම්බන්ධ කේන්ද්‍රීය පුවත මේ රත්නවල්ලී පිළිබඳ රස කතාවය. ඒ අනුව තම සිරුරුවල තවමත් දිවෙනුයේ රාජකීය ලේ බවට ඔවුහූ අදත් උදම් අනති.

උරෙහි එල්ලාගත් ඔලොගුවක් සහිතව සහ කොලපතත් අතැතිව ගමක් ගමක් ගාණේ ඇවිදිමින් සිඟමන් යදින මෙම ”සැබෑ වෘත්තීය යාචකයා” කෙරෙහි සාමාන්‍ය ජනතාව කෙරෙහි සැබෑ අනුකම්පාවකටත් වඩා එක්තරා අන්දමක බියක්, සැකක් තිබූ බවක් පෙනේ. ඒ මිනිසුන්ගේ මනස් විකෘති කොට නැතහොත් හිරි වට්ටවා ඔවුන් තමන්ගේ ග‍්‍රහණයට නතු කරගත හැකි රහස් මන්ත‍්‍ර ගුරුකම් මෙම ජන කොටස අතරේ ව්‍යවහාර වන බවට සාමාන්‍ය ජනතාව තුළ පැවති විශ්වාසයයි. එබැවින් දුරාතීතයේ දෙන ලද රජ අණක් පිළිපදින පිණිස තම නිවසට සිඟමනේ එන එම වෘත්තීය යාචක මිනිසාට හෝ ගැහැණියට නින්දා පරිභව කිරීම තබා තමන්ට හැකි උපරිම අයුරින් යමක් නොදීම ද ”නයාට ගසා පොල්ල වරද්දවා ගැනීමකැ”යි අපේ ගැමියන් සේම බොහෝ නාගරිකයෝ ද විශ්වාස කළහ. අදත් එම විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී නැත. 

අතීතයේ අප‍්‍රකට රහසිගත අයුරින් සිදු වූ බව පැවසෙන මෙම නීච කුල බන්ධන, හුලවාලී, ගුරුකම් ආදිය සිදු කෙරෙන ස්ථාන පිළිබඳව තොරතුරු අද රට පුරා සීඝ‍්‍රයෙන් ප‍්‍රසිද්ධ වෙමින් තිබේ. මීට පෙර කිසිදා නොවූ විරූ අයුරින් නිරතුරුවම ජනමාධ්‍ය මගින් එම තොරතුරු ප‍්‍රසිද්ධියට පත් වීම මෙම ගමන සඳහා මා දිරිමත් කළ ප‍්‍රබලතම හේතුව විය.