Monday, September 27, 2010

හුලවාලී ගුරුකම් පාරාදීසයේ සවාරියක්

දිනය 2009 දෙසැම්බර් විසි නව වන දාය. මා එදින පෙරවරු අටයි තිහට මහනුවර නගර මධ්‍යයේ ඔරලෝසු කනුව අබියසින් ගමන් ඇරඹූ මඩවල හරහා දිගන බලා දිවෙන මාර්ග අංක 613 දරන පෞද්ගලික බස් රථයට නැගුණෙමි. කිසියම් රහසිගත ගමනක් අරඹමිනි. කන්ද උඩරට පාතදුම්බර, හුරිකඩුවේ, මඩිගේ හි කූරගන්දෙණිය නම් ඓතිහාසික හුලවාලිගම්මානයට හීන් සීරුවේ රිංගා ගැනීම ඒ ගමනේ අරමුණ විය.

නීචකුල බන්ධන, හුලවාලි වශී ගුරුකම් ආදිය අප රටේ සාමාන්‍ය ජන සමාජයට නුහුරු හෝ ආගන්තුක ඒවා නොවේ. මිනිසුන්ගේ සිත්සතන් උඩු යටිකුරු කළ හැකි නොයෙකුත් යන්ත‍්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත‍්‍ර රැසක් අප රටේ වෙසෙන රොඞී හෙවත් ගාඩි ජනයා සතුව පවතින බව පොදු පිළිගැනීමකි. දුරාතීතයේ යම් යම් බරපතල වැරදි සඳහා දෙන කිසියම් දඬුවම් ලෙස රාජ නියෝග මගින් සමාජ පන්තීන් අතරින් නෙරපනු ලැබූ විවිධ තරාතිරම්වලට අයත් ජන සමූහයකින් රොඞී හෙවත් ගාඩි වංශය සමන්විත වන බවක් පැවසෙයි. ඒ අනුව එවක පැවති සාමාන්‍ය ජන සමාජයේ සියලූ ජීවනෝපායන් ඔවුනට අහිමි වී තිබේ. රජ අනින් ප‍්‍රකාශ වී ඇත්තේ ඔවුන් සෙසු ජන සමාජයෙන් සිඟමන් යැද දිවි ගෙවිය යුතු බවකි.  ඉන්පසු කාලාන්තරයක් තිස්සේ එම වංශයට අයත් වූවන් ගෙයින් ගෙට ගොස් සිඟමන් යැද සිටියේ රජ අණ පිළිපදිනු විනා තමන්ගේ අභිලාෂයන් මත නොවේ.

පැරණි රජ අණ අනුව යමින් දෙයියෝ බුදුවන්ඩ වැනි අතිප‍්‍රාමාණික ගෞරව නාමවලින් සාමාන්‍ය ජනතාව අමතමින් සිඟමන් යැද සිටියද එදා මෙදා තුර ඔවුන් එය සිදු කොට ඇත්තේ සියුම් අභිමානයක් ද සමගිනි. සාමාන්‍ය යාචකයන් ඉතා යටහත් පහත් බයාදු ආයාචනාත්මක ස්වරයෙන් ගෙන ගෙට ගොස් සිඟමන් යදින විට මොවුහූ ඊට වඩා උස් තියුණු මුවහත් ස්වරයකින් හඬ නගමින් සිඟමන් අයැද සිටිති. ඒ තම වෘත්තීය හිමිකම අනියම් ලෙසින් සමාජය හමුවේ ඉදිරිපත් කරමිනි. රොඞී හෙවත් ගාඩි වංශිකයන් තුළ පවතින මේ සියුම් අභිමානයට ඔවුන්ගේ පෙළපතේ ආරම්භය පිළිබඳ වු පුරාවෘත්තයක් ද මුල් වී තිබේ. එය රජවාසල රොඩු අමදින්නා සමග දීග කන්නට සිදු වූ පරාක‍්‍රමබාහු නම් රජ කෙනකුගේ වූ රත්නවල්ලී නම් දියණියකගෙන් තම පරපුර පැවත එන බව පැවසෙන රසවත් කතාවකි. නමුත් ඒ පරාක‍්‍රමබාහු රජුගේ අනන්‍යතාවය හෙළි වී නැත. රොඞී හෙවත් ගාඩි වංශිකයන්ගේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳව අනේක විධි මානව විද්‍යාත්මක මත ප‍්‍රකාශ වී ඇති නමුදු ඒ සම්බන්ධ කේන්ද්‍රීය පුවත මේ රත්නවල්ලී පිළිබඳ රස කතාවය. ඒ අනුව තම සිරුරුවල තවමත් දිවෙනුයේ රාජකීය ලේ බවට ඔවුහූ අදත් උදම් අනති.

උරෙහි එල්ලාගත් ඔලොගුවක් සහිතව සහ කොලපතත් අතැතිව ගමක් ගමක් ගාණේ ඇවිදිමින් සිඟමන් යදින මෙම ”සැබෑ වෘත්තීය යාචකයා” කෙරෙහි සාමාන්‍ය ජනතාව කෙරෙහි සැබෑ අනුකම්පාවකටත් වඩා එක්තරා අන්දමක බියක්, සැකක් තිබූ බවක් පෙනේ. ඒ මිනිසුන්ගේ මනස් විකෘති කොට නැතහොත් හිරි වට්ටවා ඔවුන් තමන්ගේ ග‍්‍රහණයට නතු කරගත හැකි රහස් මන්ත‍්‍ර ගුරුකම් මෙම ජන කොටස අතරේ ව්‍යවහාර වන බවට සාමාන්‍ය ජනතාව තුළ පැවති විශ්වාසයයි. එබැවින් දුරාතීතයේ දෙන ලද රජ අණක් පිළිපදින පිණිස තම නිවසට සිඟමනේ එන එම වෘත්තීය යාචක මිනිසාට හෝ ගැහැණියට නින්දා පරිභව කිරීම තබා තමන්ට හැකි උපරිම අයුරින් යමක් නොදීම ද ”නයාට ගසා පොල්ල වරද්දවා ගැනීමකැ”යි අපේ ගැමියන් සේම බොහෝ නාගරිකයෝ ද විශ්වාස කළහ. අදත් එම විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී නැත. 

අතීතයේ අප‍්‍රකට රහසිගත අයුරින් සිදු වූ බව පැවසෙන මෙම නීච කුල බන්ධන, හුලවාලී, ගුරුකම් ආදිය සිදු කෙරෙන ස්ථාන පිළිබඳව තොරතුරු අද රට පුරා සීඝ‍්‍රයෙන් ප‍්‍රසිද්ධ වෙමින් තිබේ. මීට පෙර කිසිදා නොවූ විරූ අයුරින් නිරතුරුවම ජනමාධ්‍ය මගින් එම තොරතුරු ප‍්‍රසිද්ධියට පත් වීම මෙම ගමන සඳහා මා දිරිමත් කළ ප‍්‍රබලතම හේතුව විය.

1 comment:

  1. This is another example of brilliant investigative journalism from a veteran journalist. I congratulate Thilak for his ingenious work to educate us about our history while resolutely exposing the myths, which regress our society.

    Dr Namal Wijesinghe

    ReplyDelete